නත්තල් තෑගි
අපි ආපහු ගෙදර ආවේ හවස හතරට විතර. මම කෙලින්ම මගෙ ෆ්ලැට් එකට යන්න පිටත්වුනා.
“මම පොඩි නින්දක් දානවා - කෑවා බීවා වැඩියි!”
මලික් නීලගෙ ෆ්ලැට් එක ලඟ නැවතුනා.
“නීලා කෝපි එකක් දෙයි කියලා මම නම් බලාගෙන ඉන්නේ!”
“ඕන නම්”
“එහෙනං අද හවස බලමුද දැන්වීමට ආවා කියපු රෙස්පොන්ස් ටික? හයට විතර - මම රොටී හදන්න හිතාගෙන හිටියේ”
“රයිට්. මම මෙහෙ තියෙන කරියක් අරගෙන එනවා…”
මම කෙලින්ම ඇඳට වැටුනට ලේසියෙන් නින්ද ගියෙ නෑ. මයිකල්ගෙ පවුලේ අයත් එක්ක දවල් වරුව ගෙවූ නිසා වෙන්න ඇති මට මගෙ පවුලේ අය සිහියට නැගුනේ. අපිට නත්තල් නොතිබුනත් ලැබුන හැම අවස්ථාවකදිම පවුලක් හැටියට ගමේදී එකතුවෙන්න අපි උත්සාහ කළා. අම්මයි නංගියි මල්ලියි ගෙදර හිටිය නිසා ඒක අමාරු දෙයක් නෙවෙයි. මම මාසෙකට දෙවරක් වත් සතිඅන්තයට ගමේ ගියා. සිංහල අවුරුද්ද, ඇසල පෙරහැර වගේ කාලෙට මම දවස් හතර පහක් ගෙදර නැවතුනා.
මට මතක හැටියට පවුල එකතුවුනාට අපි ‘පාටි දැම්මෙ නෑ’. එදිනෙදා ජීවිතෙ වෙනදා වගේම ගෙවී ගියා. වෙනසක් හැටියට මට දැනුනේ නිමක් නැති කතාවයි. යම් හේතුවක් නිසා අපි හතර දෙනාම කතාවට කැමතියි.
නැතිවී ගිය ලංකාව ගැන හිතුවොත් මට ලොකුම පාළුව දැනෙන්නේ පවුලේ අය සිහිවෙලා.
…………………………….
“සුභ නත්තල් අම්මා!”
“අපිට මොන නත්තල්ද ලොක්කා?”
“එහෙම බෑ අම්මා - ඕන ආගමක් අල්ලලා පාටියක් දැම්මට කමක් නෑ!”
අම්මට හිනා ගියා. මං හිතන්නේ වැඩිපුරම මම පසුගිය නත්තල් ගෙවපු හැටි ගැන ඊයෙ රෑ කියපු දේ මතක්වෙලා.
“ඒ රට පාටි මෙහෙ බෑ! හැබැයි අද උඳුවප් පසලොස්වක හින්දා පන්සල් යනවා - ඒ මට ඇති!”
“මාලිගාවට යනවද?”
“අපෝ නෑ - මට බෑ ඔය සෙනඟ ගොඩේ. හවස අපෙ පන්සලට ගිහින් ආපුහම හරි”
“සිල් ගන්න හිතුවෙ නෑ?”
“අනේ ලොක්කා අපෙ පන්සලේ බන මඩුවේ සීතලට මට භාවනා කරන්ට තියා වෙවුලන එක නවත්ත ගන්ටත් බැරිවෙයි! සිල් ගත්ත කාලයක් මතක නෑ - පොඩි එකී ගෙදර තනිකරලා යන්ටද? ඊටත් වැඩිය හවස්වෙලා ගිහින් බුදුන් වැදගෙන ආවනම් මට ඇති!”
“නංගිත් යයිද?”
“යයි මං හිතන්නේ - අර ජීවනී කෙල්ලත් එක්ක”
අම්මා තනියම පන්සල් ගිහින් එනවට මම කැමතිවුනේ නෑ.
“මාත් එනවා අම්මා - ඉස්කෝලේ යන කාලේ ගියාට පස්සේ ගමේ පන්සලට යැවෙන්නේ!”
ගෙදර වෙසක් එකට වගේ ටිකක් සැරසිලි කරන්න ආශාවක් මට ඇතිවුනා. උදේ කෑම වෙලාවේ නංගියි මල්ලියි එක්ක ඒ ගැන කතා කරන්න උත්සාහ කරා.
“අනේ කූඩු හදන්ට මට බෑ - මේ සාර පෝයදා - වෙසක් එකට වගේ මිනිස්සු හැම පෝයටම ගෙවල් සරසන්නෙ නෑ අයියා!”
“නංගී මොකද කියන්නේ?’
“මල්ලිගෙ කතාව හරි - අපි පෝයට ගෙවල් සරසන්නෙ නෑ. හැබැයි… කාලෙකට පස්සේ අයියත් ඉන්න නිසා පොල්තෙල් පහන් පේලියක් සාලේ ඉස්සරහ පත්තු කරමුද? ලස්සනට තියෙයි, ගෙදර ලයිට් නිමුවහම. ආයෙ බකට් කීපයක් මිදුල අයිනෙ ගස් වල එල්ලමුද, හරියට නත්තල් ගස් වගේ!”
“පහන්, බකට් එහෙම ගන්න කඩ ඇරලා තියෙයිද?”
නංගී හයියෙන් හිනාවුනා.
“අයියා මේ මෙහාට පායපු පලවෙනි පුරහඳ නෙවෙයි! මැටි පහන් ගෙදර තියෙනවා… තෙලුත් ඇති. මං ඒවට තිර ටිකක් අඹරන්නං… අයියට පුළුවන් රම්බන්ඩයියගෙ කඩෙන් බකට් පහක් හයකුයි ඉටි පන්දමුයි ගන්ට… මල්ලිත් එක්ක යන්ට කඩේ අමතකනං”
අම්මා කිසි දෙයක් නොකියා අපෙ ලකලෑස්ති ගැන අහගෙන හිටියේ හිනා මුහුණින්. අකමැත්තක් නෑ වගේ ‘නත්තල් පෝයට’.
“මල්ලී ඕන නෑ මට කඩේ ගමනට. හැබැයි උඹ එනවා පන්සල් යන්න පහට විතර!”
බකට් දුසිමකුයි ඉටි පන්දමුයි ගන්න මට මල්ලී ඕනවුනේ නෑ. ඊට වැඩිය බකට් ගණනක් ගන්න හිතුනත් ‘බොරු ශෝක්’ දානවට පවුලේ කවුරුත් කැමති නැති නිසයි දුසිමක් ගත්තේ. රම්බන්ඩයියගෙ කඩේම ගත්ත බඩු ටික තියලා මම රඹුක්කන පාරේ ටිකක් ඇවිදින්න පිටත්වුනා. කාලෙකින් පස්සේ නිසා මම ගියේ කඩමන්ඩියේ එහාට මෙහාට ටිකක් ඇවිදලත් එන්නත් හිතාගෙන.
ගුනදාහේ රජමහ විහාරෙටයි අම්ම ‘අපෙ පන්සල’ කිව්වේ. හවසත් එන නිසා මම ඒ තරම් දුර නොගොස් ආපහු හැරුනා.
“ලලිත් අයියට මං අඳුරගන්ට බෑ නේද?”
පොඩි කොල්ලෙක් එක්ක විහාර පාරෙන් ආ ලස්සන කෙල්ලෙක් මාත් එක්ක හිනාවුනා. මගෙ මුහුණේ අවිනිශ්චිත බව දැකලා කෙල්ල ආයෙත් කතා කරා.
“මම ජීවනී. කුමාරිත් එක්ක මං අයියලගෙ ගෙදර ඇවිල්ලත් තියෙනවා!”
මට ලජ්ජා හිතුනේ නංගිගෙ යාළුවා ඒ දවස්වල හොඳින් දන්න නිසා.
“අනේ ජීවනී… නංගී කිව්වා දැන් පෙර පාසැලක් කරනවා කියලා. සොරි හඳුනගන්න බැරිවුනාට - ලොකු කල්පනාවකින් හිටියේ”
ජීවනී දන්නවා මං කිව්වේ බොරුවක් කියලා. නමුත් හිනාව එහෙමම තිබුනා.
“මේ මගෙ මල්ලී විජිත… කඩේ ආවද?”
“ඔවු.. කඩේ ආපු ගමන් පොඩ්ඩක් මේ පැත්තට ඇවිදලා යන්න ආවා. අද නංගිත් එක්ක පන්සල් යනවා කියලා අම්මා කිව්වා”
“ඔවු… පසලොස්වක නේ”
අපි හෙමින් හෙමින් කඩමන්ඩිය පැත්තට එන්න පටන්ගත්තා. මීටර විස්සකට විතර පස්සේ ඒ දෙන්නා නැවතුනා.
“අපි නවතිනවා අයියා - මේ සාප්පුවට ලඟ… කුමාරිට කියනවද කාන්ති නංගිත් එනවා කියලා පන්සල්?”
“රයිට්”
මීරාසයිබුගෙ කඩෙන් රෝස් පානුත් අරගෙන බකට් එහෙමත් එකතුකරගෙන ගෙදර එනකොට තේ වෙලාව.
“නංගිගෙ යාළුවා හම්බවුනා… ජීවනී. කිව්වා පන්සලට කාන්තී නංගී කියලා කෙනෙකුත් එනවා කිව්වා… කාටද රෝස්පාන් ඕනෑ?”
……………………………….
පන්සල් ගමන මං හිතපු තරම් බාරදූර කාරියක් වුනේ නෑ. මගෙ හිතේ තිබුන ලොකුම බය ගමේ නෑදෑයෝ හමුවුනාම ඔවුන් හඳුනා ගන්න බැරිවෙයි කියලා. නමුත් අපිට මුණගැහුනේ නෑදෑයෝ දෙතුන් දෙනෙක් පමණයි. අම්මත් මල්ලිත් ඔවුන්ට නම කියලම කතා කරේ මගේ උපකාරයට බව මට ඒත්තු ගියේ පස්සේ. නෑදෑයො හැර මල්ලී හඳුනන මධ්යවිද්යාලේ විද්‍යා ගුරුවරයෙක් සමගයි මම වැඩි වෙලාවක් කතා කරේ.
“මේ නිමල් ජයසිංහ නිවාඩුවටත් ගෙදර නොගිහින් මෙහෙ ඉන්නේ ඇයි කියලා අයියා දන්නවද?”
“අනේ නිකං හිටපන් අනුර. මට උඹෙ අයියත් එක්ක ටිකක් කතා කරගන්ට දීලා ගිහින් බුදුන් වැඳගනින්!”
මල්ලී හිනාවෙලා යාළුවගෙ පිටට පාරක් ගහලා බුදුගේ පැත්තට ගියා.
“නිමල් අපෙ ගමේ නෙවෙයි එහෙනං?”
“නෑ ඩොක්ට මීගස්තැන්න… මගෙ ගම දඹුල්ලේ. මෙහාට මාරුවෙලා ආවේ අවුරුදු පහකට විතර ඉස්සර. ආපු දවස්වලමයි අනුර හම්බවුනේ - මට හරියට උදව් කරා මෙහෙ සෙට්ල් වෙන්ට…”
“අපෝ එච්චර කල් නම් ගමට හොඳටම පුරුදු ඇති”
“දැන් ඉතින් මේකත් මගෙ ගම වගේ!... මං ඩොක්ට මීගස්තැන්නගෙන් උදව්වක් ඉල්ලන්ට… මේකයි… අපෙ අලුත් අවුරුද්ද පටන්ගත්තහම දවසක පුළුවන්ද ඇවිත් අපෙ දොලහේ ශ්‍රේණියේ ළමයින්ට පොඩි කතාවක් කරන්ට? සමාවෙන්ට හම්බ වෙච්ච් පලවෙනි සැරේම උදව් ඉල්ලනවට…”
මට හිනා ගියා මිනිහගෙ අපහසුව ගැන.
“ඒක ප්‍රශ්නයක් නෙවෙයි… මට කියනවානම් මොනවා ගැනද කතා කරන්න ඕනෑ කියලා… මම එ ගැන මොකවත් දන්නවානම්… මට ආයෙ ඩොක්ට මීගස්තැන්න නොකියා ලලිත් හරි ලලිත් අයියා හරි කියලා කතා කරනවානම්…”
ඒ සැරේ මිනිහා හිනාවුනේ සතුටු මුහුණක් පෙන්වලා.
“තෑන්ක්යූ… මං බයේ හිටියේ හම්බවුන ගමන් උදව් ඉල්ලනකොට එලවා ගනියි කියලා… අ… ලලිත්”
“ඇයි මම?”
“මේ ගමේම කෙනෙක් කියන දේකට මගෙ කොල්ලෝ කෙල්ලෝ හොඳින් කන් දෙයි… මම කැමතියි ගමේ ඉන්න දක්ෂ ළමයින්ට අනාගතයක් පෙන්නන්ට - මං වගේ කබල් ගුරෙක් නොවී!”
“නිමල්… ඔයා ‘කබල්’ කිව්වට ගුරුවරු නැත්තං අපි තාම ගමේ පොල් කඩනවා… නේද?”
ඒ සැරේ අපි දෙන්නටම හිනා ගියා. එකිනෙකා හඳුනා ගැනීම එතනින් ඉවර වෙලා වගේ අපි හෙමින් හෙමින් බුදුගේ පැත්තට ඇදුනා. මේ ගමේම ඉපදුන මං වගේ නෙවෙයි නිමල් ජයසිංහ මීටර පනහේ ගමනේදී කීප සැරයක් නැවතිලා බාල තරුණ පස් හය දෙනෙක් සමග ආචාර හුවමාරු කරගත්තා.
අඳුර වැටීගෙන එනකොට අම්මයි මල්ලියි මමයි ගෙදර ආවා; නංගිත් තව ටිකකින් එන බව කිව්වා. මල්ලියි මමයි පහල ඇලෙන් නාන්න ගියේ දවසේ දහඩිය සෝදා ගන්න. පසලොස්වක නිසා වෙන්න ඇති මල්ලී මත්පැන් මතක් නොකරේ.
“අර නිමල් ජයසිංහ හොඳ පොරක් වගේ… මට ඉන්වයිට් කරා ග්‍රේඩ් 12 ළමයින්ට කතා කරන්නත්”
“නෑ ඌ හොඳ එකා තමා. ගමට හොඳයි කොහෙ ඉඳන් ආවත්”
“මෑන් කිව්වා මල්ලී උදව් කරා කියලා එයා මෙහාට ආපු දවස්වල…?”
“මං කරේ නවතින්ට තැනක් හොයලා දෙන එක විතරයි. මිනිහගෙ බැච්මේට් කෙනෙක් කියලා මං ගැන - මාත් එක්ක ඉස්කෝලේ ගිය එකෙක්. නිමල් මල්ලත් උස්සගෙන ආවේ අපෙ ගෙදර. අම්මා තමා හෝඩුවාව දුන්නේ දිසානායක අපොතිකරිගෙ ගෙදර ගැන… එදා ඉඳන් අපි දෙන්නා යාළුයි”
“ගුඩ්! මොකද අර මල්ලී කිව්වේ මිනිහා ගමේ නොගිහින් නිවාඩුවටත් මෙහෙ ඉන්නවා කිව්වේ?”
මල්ලී හිනාවුනා.
“ඒ මේ ලඟක ඉඳන්… අර ජීවනීට ලයින් දානවා!”
…………………………………
මලික් නීලත් එක්ක මගෙ ෆ්ලැට් එකට ආවේ හයට විතර; හරියට නෑ ගමන් යන ජෝඩුවක් වගේ කෑම සාස්පානකුත් වයින් බෝතලේකුත් ඉස්සර කරගෙන.
නීලා රොටී හදන්න බාර ගත්තේ මලික් තුන්දෙනාගෙම වයින් වීදුරු පුරවනකොටයි.
“ඇයි ඔය දෙන්නා වයිනුත් අරගෙන බැල්කනි එකට යන්නෙ නැත්තේ - ‘මෙරි ක්‍රිස්මස්’ කියලා පලවෙනි ඩ්‍රින්ක් එකට ගත්තට පස්සේ? රොටී හදන එක තනියම කරන දෙයක්. අනික ගෙනාපු කරිය රත් කරන්නත් පුළුවන්”
වචනෙන් නොකියවුනු පනිවිඩයක් මෙතන සැඟවී තිබුනා කියලා මට හිතුනා. මලික් මාවත් ඇදගෙන බැල්කනියට ගියා.
“ලලිත්ට කියන්න යමක් තියෙනවා…”
“මට හිතුනා මොකද්දෝ එකක් තියෙනවා කියලා… ඉතින් වට රවුමෙන් එන්න ඕන නෑ - කෙලින්ම කිව්වනම් ඉවරයි නේ!”
මලික් හිනාවුනා.
“මම ලලිත්ගෙ ෆ්ලැට් එකෙන් නීලගෙ ෆ්ලැට් එකට යනවා… අපි දෙන්නා ඒ තීරණේ ගත්තේ දැන් පොඩ්ඩකට ඉස්සරවෙලා!”
මම වහාම පුටුවෙන් නැගිට්ටේ කට පුරා හිනා වෙමින්.
“කොන්ග්රැචුලේශන්ස්! ශඃ නියමයි.,,, නීලා… නීලා! වයින් වීදුරුවත් අරගෙන මෙහාට ආවානම්! වෙල් ඩන් යූ ටූ! මං බලාගෙන හිටියේ මේක කවදා වෙයිද කියලා!”
අපි තුන්දෙනා බැල්කැනියේ එකිනෙකා බදාගෙන ඉඳන් මම ජෝඩුවට සුභ පැතුවා.
………………………….
අපි කෑමෙන් පස්සේ අපේ ප්‍රසිද්ධ දැන්වීමට ලබුන පිළිතුරු පරීක්ෂා කර බලන්න වාඩිවුනේ මලික්-නීලා ප්‍රවුර්තියේ නොඅඩුවූ උනුසුමෙන්.
“රයිට්… අපි මේකයි දාපු නෝටිස් එක”
නීලා කතාව පටන්ගත්තේ සරසවි ගොන්නක ප්‍රසිද්ධ කල දැන්වීමේ කොපියක් මේසය මත තබමින්. ඉතා සරල ලෙස ලියා තිබුන දැන්වීමේ දූපත් පහක නම් ලියා තිබුනා, අකුරු අනුපිළිවෙළට; බෝගන්විල්, කිරිබති, මැඩගැස්කා, සීශෙල්ස්, ශ්‍රී ලංකා. ඊට යටින් ලොකු අකුරින් ලියා තිබුනේ
ඔබ මේවායින් එකක් හෝ ගැන දන්නවානම් කරුණාකර පහත සඳහන් ෆැක්ස් නොම්බරෙන් නීලා ප්‍රනාන්දුට ඒ බව දන්වන්න. ෆෝන්, ෆැක්ස් හෝ ලිපියක් මගින් නීලා ඔබව අමතයි - මෙය ඔබගෙත් අපගෙත් අනාගතයට කරන විශාල මෙහෙයක්
නීලා ෆැක්ස් කොල මිටියක් මේසේ උඩින් තැබුවා.
“මෙතන තියෙනවා ෆැක්ස් තිස් අටක්. නරක නෑ ක්‍රිස්මස් වලට යුනිවසිටි වහලා තියෙන දවස් වලත්!”
“වෙල් ඩන්! නීලා මේවා එක එක කියවලා බැලුවද?”
“නෑ ලලිත්… මං හිතුවේ අපි තුන්දෙනාම ඒක එකට කරන්න ඕන දෙයක් හැටියට”
“තැන්ක්යූ… අපි ඉස්සරවෙලාම ඒවා රටවල් අනුව ගොඩ ගහමුද?”
ඒ වැඩේට වැඩි වෙලාවක් යයි කියලා මට හිතුනෙ නෑ. හුඟක් අය තමා හඳුනන දූපතේ නම ෆැක්ස් කොලේ උඩින්ම ලියලා ඊට යටින් ඒ අය දූපතේ නම හඳුනන්නේ කොහොමදත් තමාගේ ලිපින/ටෙලිෆෝන් නොම්බරත් ලියා තිබුනා.
අනික් ෆැක්ස් වලට වඩා වෙනස් එකක් ඉස්සරවෙලාම හම්බවුනේ මලික්ට.
“හේ! මේක අලුත් දූපතක නමක්! ලියන මිනිහා.. නෑ ගෑනී… කියන්නේ එයා මේ දූපත් සේරම දන්නවලු. ඒවා දැන් නැති බවත් දන්නවා. එයා කියන්නේ බටහිර ඉන්දියානු කොදෙව් දූපත් හතරක් නැතිවෙලා කියලා - ඩොමිනිකා, මාටිනීක්, සේන්ට් ලූෂියා, බාබේඩොස්… එයාගෙ දූපත බාබේඩොස් වුනාට යාළුවෝ හිටියා අනික් දූපත්වල කියලා. නම ලෙස්ලි පීටසන්, ඉන්නේ සිඩ්නි”